පාත්‍ර වර්ගයා

කථක : ලංකාරක්‍ෂකයා වශයෙන් ද හැඳින්විය හැක. මොහු අහස් යාත්‍රා හෝ නැව් තොටුපළක ආරක්‍ෂක නිලධාරියෙකුගේ ස්වරූපය ගනී. අතේ පුස්කොල පොතක් දරා සිටී.

පාඹුගල ලෝකුරු නයිදේ : රබානක් අතේ ඇතිව ජන කවියෙකු ගේ විලාශයෙන් පැමිණේ.

සින්බෑඩ් ද සේලර්: පැරණි නැවකින් පැමිණෙන මොහු අරාබි වෙළෙන්දෙකුගේ රුව ගනී. උරේ දවුලකි.

කුවේණිය: කැලෑ කොළ වලින් සැරසී සිටින විලාශය දක්වන රෙද්දක් පොරවාගෙන සිය රජ ඇඳුම් ඉන් වසා ගෙන සිටී. අත දිවිරුවකි.

එළාර: ද්‍රවිඩ රජෙකුගේ වේශයෙන් පැමිනේ. කාවිල් බෙරය උර දරා සිටී.

පාහියන්: ලාමා වරයෙකු බඳු ඇඳුමකින් සැරසී රිටකට සවිකර ගත් රබානක් වයමින් පැමිණේ.

මකරා: චීන මකරෙකුගේ රුව ගත් වෙස් මුහුණක් පැළඳ සිටී.

මූණු දෙකේ කෝලම: ඉදිරිපස, මැහැල්ලකගේ රුව දක්වන අඩ වෙස් මූනක් හා ඇඳුමක්ද, පිටුපස තරුණියකගේ විලාශය දක්වන රුවක්ද දරා සිටී.

කුරුම්බරයින් දෙදෙනා: ගම්මඩුවල එන දෙවොල් කුරුම්බර ඇඳුම් ඇඳ මනි බඩු පෙට්ටි උර තබාගෙන පැමිණෙති.

දෙවොල් : කාඟුල් තොප්පිය, හැට්ටය හා ඉනහැඩය ආදී සියළු ආභරණයන්ගෙන් සමූපලක්‍ෂිතව පැමිණේ.

සොල්දාදු: පරංගි යුද සෙබලෙකුගේ ඇඳුමකින් සැරසී සිටින මොහු ඉනේ වයින් බෝතලයක් ද, උරේ තුවක්කුවක් ද එල්ලා ගෙන සිටී. අතේ මැන්ඩලීනයකි.

භරණ ගණිතාචාර්‍ය්‍: කපුරාල කෙනෙකුට හුරු ඇඳුමකින් සැරසී අතේ රබානක් දරා සිටී.

දෙවෙනි රාජසිංහ රජු: උඩරට රජෙකුගේ වෙස් දරා, බොරු අශ්වයෙකු ඇඟ බැඳගෙන නටා පැමිණේ.

විරහිණිය: උඩරට නිළියකගේ වෙස් ගෙන සිටී. (නාට්‍ය දර්ශනයෙන් ඉවත් කර ඇත.)

ගොන්සාල්වෙස් පියතුමා: පූජක ලෝගුවක් හැඳ, අතේ උස්වූ කුරුසියක් දරා සිටී.

දෝන කත්‍රිනා බිසව: කළු ඔසරියක් හා සුදු හැට්ටයක් ඇඳ උඩ රට රාජාභරණින් සැරසී පැමිණේ.

රාජාධිරාජසිංහ රජු: වඩුග රජෙකු ගේ වෙස් ගෙන සිටින නමුදු, ප්‍රථමයෙන් ඉදිරිපත් වෙන්නේ ආඬියෙකු ලෙස රජ ඇඳුම සරුවාලයකින් ඉඟ සිට වසා ගෙනය. අතේ රබානකි.

අමදෝරු ඔපිසර: කබායක් සහ සෝමණයක් ඇඳ හිසේ පනාවක් පැළඳ සිටී. (නාට්‍ය දර්ශනයෙන් ඉවත් කර ඇත.)

රෝස නෝනා: ලංසි පන්නයේ දිග ගවුමක් ඇඳ, අතේ රබානක් ඇතිව පැමිණේ.

ජැංඩි සිංඤෝ: නාඩගම්වල එන බහුබූතයා බඳු විලාශයක් දරයි. අතේ රබානකි.

ඩුබායි ලඳ: මැද පෙරදිග කාන්තාවක ගේ ඇඳුම් විලාසිතාවක් දක්වයි. ඩුබායි යන ලේබලය සහිත විශාල ඇඳුම් බෑගයක් රැගෙන එයි.