මධුර ජවනිකා කුමටද?
තේමාව වශයෙන් ගත්කල “මධුර ජවනිකා” තුලින් මා කියන්නට බලාපොරොත්තු වෙන්නේ ජනතාවක් වශයෙන් අපි අපේ ඇතැම් දුර්මත ඉවත් කරගෙන, අනෝන්‍ය අවබෝධයක් ඇතිකරගෙන, සාමකාමීව ජීවත් වය යුතු බවයි. මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නා, එනම් ලංකාරක්ෂකයා සමහරවිට ජාතික ආගමික හැඟීම් වලින් පිම්බුනු කෙනෙකි. ඔහු විදේශීය බලපෑම් වලට විරුද්ධය. රාවණා රජු දිනුවා නම් අපේ රට ලෝකයේ ප්‍රබලම රට වන්නට තිබුණු බව ඔහු විශ්වාස කරයි. රාවණාගේ පරාජයට හේතු වූ විභීෂණට ඔහු දොස් පවරයි. නමුත් එතැනට පැමිණෙන තාඹුගල ලෝකුරු නයිදේ නමැති ජනකවියා විභීෂණ කැළණි පුරවරය ගොඩනගා කළ ශ්‍රේෂ්ඨ ක්‍රියාව දක්වා ලංකාරක්ෂකගේ අදහස් සමනය කරයි.
අනුක්‍රමිකව දැක්වෙන්නේ ලංකාවට පැමිණෙන විවිධ විදේශීය බලපෑම්ය. සින්බෑඩ් ද සේලර් ගෙන් ආදි යෝනක බලපෑම්, කුවේණියගෙන් සිංහලයින්ගේ සම්ප්‍රාප්තිය, එළාරගෙන් ද්‍රවිඩ සංස්කෘතිය, පාහියන්ගෙන් මහායානික අදහස් හා දෙවොල් දෙවියන්ගෙන් යන්ත්‍ර මන්ත්‍ර ඇදහිලි එක්වන හැටි දැක්වේ. පරංගින් පැමිණීමෙන් පසු ලංකාව දෙකඩ වේ. දෙවෙනි රාජසිංහ රජු ඔවුන් වැල්ලවාය සටනින් පරාජය කරයි. ජාතිය හා ආගම බේරගන්නා මේ උදාර රජු, දෝන කත්‍රිනා නම් කතෝලික මාතාවකගේ පුත්‍රයා බව ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයන් රට අල්ලාගත් පසු වංශවතී නමැති දැරිය බිහිවෙයි. මේ දැරිය යා යුත්තේ මන්ද්‍රි දේවිය මෙන් වංකගිරියටද නැත්නම් ඉක්මන් මුදල් සොයන රට රුකියාවකටද?
“මධුරජවනිකා” වේදිකාව මත සරසා ඇත්තේ ජන ගී, ජන නැටුම් හා ජන රංග ක්‍රම මගිනි. වර්ථමාන ජනප්‍රිය සංගීතයට ඇළුම් කරන්නන් මෙවැනි රංගනයකින් තෘප්තිමත් කල හැකිද?
දයානන්ද ගුණවර්ධන
(මධුර ජවනිකා කුමටද? - නවයුගය/1983 ජූලි 09)